ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිලදී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ඇතිව එය ලබදෙන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

“අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සහන කිහිපයක් ලබාදීමට. විශ්‍රාමික දීමනාව, ධීවරයින්ට දෙන දීමනාව වැඩි කරන එක, ඒ සියල්ල අපිට කළ හැකි වුණා.

අපිට කෙටි කාලීන දීමනා පමණක් නොව අපි ඉදිරිපත් කරන අයවැය තුළ කොහොමද සමාජ ආරක්ෂණය තහවුරු කරන්නේ, විශ්‍රාමිකයින් ආරක්ෂා කරන්නේ සහ ජීවන වියදම පාලනය කරන්නේ ගැන අවධානය යොමු කරනවා.

විශේෂයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කරන නම් මේ වෙලාවේ ජනතාව මත පැටවී ඇති එම බර ලිහිල් කළ යුතුයි. අපේ වියදමෙන් වැඩි ප්‍රතිශතයක් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප්‍රවාහනයට දරන්න සිදුවෙලා තියෙනවා. ඒවා පාලනය කළොත් ජීවන වියදම පාලනය වෙනවා.

ඒ අනුව තමා අයවැය සකස් කරන්නේ. අලුත් අවුරුද්දේ පාසල් ආරම්භ වෙද්දි පාසල් දරුවන්ට සහනයක් දෙන්න විශේෂයෙන්ම පොත් පත් ලබාගැනීමේ දී සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයට සැලසුම් අපි හදාගෙන යනවා.”